සන්ධ්‍යා කුමුදුනී ලියනගේගේ නවතම කාව්‍ය සංග්‍රහය වන මතක මග මගහැර ඇගේ පාඨකයන්ට මාතෘකා රාශියක් පිරිනමන අතර ඒවායින් වඩාත්ම ප්‍රමුඛ වන්නේ මතකය හා බලාපොරොත්තුව, බිය, බලාපොරොත්තුව පිලිබඳ බිය, ආදරය, පරිත්‍යාගය, බලය, ධනය, දුගී බව, ගැටුම්, නැතිවීම සහ වෙන්වීම අතර සම්බන්ධයයි. සන්ධ්‍යා මෙම තේමා සමඟ කටයුතු කරන ආකාරයෙහි වැදගත්ම ලක්ෂණය නම් එකම තේමාව යටතේ කවි කිහිපයක් ඇති නමුදු එම තේමාව සමඟ ඇයගේ ගනුදෙණුව කවියෙන් කවියට වෙනස් වීමයි.
එකතුවේ මාතෘකාව දෙස බලන විට, මෙවන් කෘතියකට හේතු සාදක වූ වස්තු බීජය කුමක් විය හැකිද යන සිතුවිල්ල සිතට නැගෙනු නොවැලක්විය හැක. එයට පළමු හෝඩුවාව ලබා ගැනීමට කෙනෙකුට බොහෝ දුර යා යුතු වුයේ නැත. “රිදුම් බර කවක්” ලෙස සන්ධ්‍යා විසින්ම නම් කර ඇති මෙම කෘතිය ඇගේ බාල සොහොයුරන් වන විජිත සහ ප්‍රසාද්ගේ මතකය වෙනුවෙන් කැප කරන බව පිදුමේදීම සඳහන් කරයි:
රාමු කල හසරැල් පිරි මුවග
ආලින්දයේ දී නිබඳ ඇස ගැටෙන විට
නොමියන මතකයක් විත්
කෙමෙන් සිත තිගස්සන
ආයෙමත් අප හැබැහින්
මේ දිවිමග
හමු නොවුනත් කිසි දින
විජිතම ...
ප්‍රසද්ම ...
එක කුස තුල ඔත්
ආදර ධෑය මලණුවන් දෙපළට හැර
පිදුම් දෙන්නෙම් ද මම් ...
කාටනම්
මේ රිදුම්බර කව ...
මතක මග මගහැර කෘතියෙහි මෙසේ මතකය සහ අහිමි වීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කිරීමට ඇගේ සම්මානලාභී එකතුව සුභ පෙර නිමිති (2013) සහ මතක මග මගහැර අතර සන්ධ්‍යා ලියනගේ ජිවිතයේ සිදුවූ වෙනස්කම කුමක් විය හැකිද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සාහ කිරීමේදී, මා ඇගේ කෘතියේ මාතෘකාවට පළමුවෙන් අවධානය යොමු කලෙමි. කිවිඳියට මතක මාවත මගහැරීමට අවශ්‍ය වන්නේ ඇයි? මතක මග මඟහැරීමට කිවිඳියට ඇති ආශාව මෙම එකතුව “escapist literature” ගණයේ සාහිත්‍ය කෘතියක් බවට පත් කරනවාද? එසේත් නැතිනම්, ඉරණමට/සමාජයට මුහුණ දීමේදී නිසඟයෙන් ඇතිවන සිත් වේදනා නොතකා ඇගේ ජීවිතය ඇයට හැකි උපරිමයෙන් ගත කිරීමේ උත්සාහය උදෙසා නොස්ටැල්ජියාවේ ග්‍රහණයෙන් මිදීමට ගත් පියවරක් ලෙස මෙය අර්ථ දැක්වීමෙන් මෙම කෘතියට සහ එහි රචිකාවියට වඩා සාධාරණයක් සිදු වෙයිද?
මේ සියල්ලටම පිළිතුරු සෙවීමට නම් සන්ධ්‍යා ගේ කවි මොළයෙන් පමණක් නොව හදවතින්ද කියවීම අතිශයෙන් වැදගත් වේ. ඒ සඳහා මෙහි එන කවි:
1. බලාපොරොත්තුව, බිය සහ බලාපොරොත්තුව පිලිබඳ බිය
2. ආදරය සහ පරිත්‍යාගය
3. බලය, ධනය සහ දුගී බව
4. ගැටුම් සහ
5. නැතිවීම සහ වෙන්වීම
යන මාතෘකා/තේමා යටතේ පෙළගස්වා කිවිඳිය එක එක කවියේදී එම මාතෘකාව දෙස බලන ආකාරය විමසීම වඩා ඵලදායි වේයැයි මා සිතමි.
බලාපොරොත්තුව, බිය සහ බලාපොරොත්තුව පිළිබඳ බිය
මෙම එකතුවේ නිර්මාණ 51 න්, “තෙත බරිත රාත්‍රිය,” “නැලවිලි ගීතයක් නොවේ,” “කපුටු රෑන් රෑන්,” “රන්වනින් දළු ලෑව බෝධිය,” සහ “දෝණි” යන කවි එකිනෙකට පරස්පර හැඟීම් යැයි යමෙකුට සිතිය හැකි බිය සහ බලාපොරොත්තුව සමඟ කටයුතු කරයි. විෂයවූ ඛේදවාචකයේ බැරෑරුම්කම සැලකීමේදී, “තෙත බරිත රාත්‍රිය” සුමට ලෙහෙසි කියවීමක් විය නොහැක. මෙම කාව්‍යයේ දී කිවිඳිය ස්වභාවධර්මය සැනින් වෙනස් වන මනෝභාවයන්ට අනුව අනුකම්පාව සහ රුදුරු බව යන ගුණ දෙකම පෙන්වීමට සමත් සවිඥානික බලවේගයක් ලෙස ඉදිරිපත් කරයි. අනෙක් අතට ”නැලවිලි ගීතයක් නොවේ” කවියේදී කිවිඳිය මිනිස් කුරිරුකම් තම විෂයකොට ගනී. ස්වාමිපුරුෂයා නොමැති මවක් කාමුකයන්ගේ ග්‍රහණයට අසුව ලිංගික ගසාකෑමට ලක් නොවී සිටීමට කරනා අතිශයෙන් දුෂ්කර උත්සාහ මේ කාව්‍යය නිරූපනය කරයි. කවියේ කතානායිකාව තම පුතුගේ හැඬීමෙන් සැනසීමක් සොයයි. එම හැඬීම ඇයට ඇගේ වගකීම් මතක් කර දෙන අතර තම දරුවා වෙනුවෙන් මෙන්ම තමාගේ යහපත වෙනුවෙන් නොසැලී සිටීමට ඇයට අවැසි අධිෂ්ඨානය ලබා දෙයි. ඊට අමතරව එය ඇයව ලිංගිකව සූරාකන්නට දතකන උන් තුළ සිටින දරුවාට ඇයගේ දරුවා වෙනුවෙන් වත් ඇයට හිරිහැර කිරීමෙන් වලකින මෙන් කරනා ආයාචනයක් ද විය හැක. කම්කරු හා මධ්‍යම පාන්තිකයන්ගේ සමාජ ආර්ථීක අභිලාෂයන් මුදුන් පත්කරගැනීමට යාමේදී තාවකාලික වැන්දඹුවන් බවට පත්වෙන එම පන්තිවල බොහෝ කාන්තාවන්ගේ කවිය මෙයයි!
“කපුටු රෑන් රෑන්” යනු ග්‍රහලෝක අපල නිසා තමන් අපල කාලයක් ගත කරන බව විශ්වාස කරන අයවලුන් විසින් කරන ජනප්‍රිය චාරිත්‍රයක් දෙස බැලීමකි. මෙම කවියද මවක් පාදක කරගෙන ලියවී ඇත. ඇගේ 43 වැනි කාව්‍ය වන “දෝණි” හිද සන්ධ්‍යා තවත් මව්-දරු සම්බන්ධයක් ගවේෂණය කරයි. මෙහිදී ඇය තම සැමියා වෙනුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වන මවකගේ සිත තුල තම දියණිය ගේ ආරක්ෂාව පිලිබඳ ඇතිවන බිය පිළිබඳ ග්‍රැෆික් චිත්‍රයක් පින්තාරු කරයි:
පොලිසියේ මහතුන්ගේ ඇස්වලින් වහන්වී
තාත්තා පැන ගියෙන් පසු දොරින් නොපෙනී
ඊට වාඩුව ලෙසට විලංගුව වැටුණි
දෝණි නුඹ තනිකරන් ජීප් රිය ඇදුණි
දුප්පත්කම නම් බැරලයේ පතුල සුරමින් සිටියත් කාන්තාව තම ස්වාමිපුරුෂයා දැඩිසේ විවේචනය නොකරයි - “තාත්තත් දන්නවා ගිනිවතුර අගුණ ... ඉදිකෙරුණ හෙටක් නැත පිරිමැසුන වේල මිස යාන වාහන සත්මහල් පාය සිහින විණ”. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මව පැල්පතක තනිවම දමා ගිය තම දියණිය බේබද්දෙකුගේ, සමහර විට තමන්ගේම පියාගේ ගනුදෙනුකරුවෙකුගේ, ගොදුරක් වෙයිදෝයි සිතමින් තැවෙයි. එහෙත් අසරණ මවට කළ හැකි එකම දෙය වූයේ තම ආදරණීය දියණියගෙන් “වහන්කර ගෙට වෙයන් දමාගෙන දොරගුල” යැයි ආයාචනා කිරීම පමණි. ඉහත කවි තුනෙහිම එන මව්වරුන් තම දරුවන්ගේ ආරක්ෂාව ගැන බිය වන අතර සියලු ආකාරයේ බිය උපදවන අත්දැකීම් වලින් ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරති. “නිදිකුම්බා” කවියේ සන්ද්‍යා තරමක් ව(ර්)ඩ්ස්ව(ර්)තියානු ස්වරූපයේ ශාරීරිකව දුබල තැතිගැනෙන එහෙත් ඔරොත්තුදීමේ හැකියාව ඇති “නොවැදගත්” කෙනෙකු ගැන කතා කරයි. මෙම කවි වල සිටිනා බිය ජනක අත්දැකීම්වලට මුහුණ දෙන ගැහැණුන්ගේ සිත් තුල කොතෙකුත් බලාපොරොත්තු පොදිබැඳ තිබුණත් ඔවුන්ට කිසිදු සහනයක් නොලැබේ. එහෙත් තවදුරටත් ඔවුන් එම බලාපොරොත්තු වලම එල්බ සිටින්නේ බලාපොරොත්තු සුන්වීම වළක්වන්නට ඔවුන්ට කල හැකි එකම දෙය එය වන බැවිනි.
ආදරය සහ පරිත්‍යාගය
සන්ධ්‍යාගේ එකතුවේ සැලකිය යුතු පද්‍ය සංඛ්‍යාවක් ආදරය සමඟ ගනුදෙනු කරයි; මෙහිදී කිවිඳිය පීතෘ, සහෝදර, අධ්‍යාත්මික, චිත්තවේගීය, කාමුක, යනාදිය විවිධාකාරයේ ආදරයන් ගැන සැලකිලිමත් වේ. එසේම, ප්‍රේමය අත්‍යවශ්‍යයෙන්ම පරිත්‍යාගය හා බැඳුනක් බව කිවිඳියට හැඟෙන බව පෙනේ. “සන්තෝෂ දවසක්” සහ “ප්‍රේමයේ ගණනය” වැඩිහිටි හිටපු පෙම්වතුන් ගැන ලියවුනු කාව්‍ය නිර්මාණය. “සත් පත්තිනි” හී වැන්දඹුව තම මියගිය ස්වාමිපුරුෂයාට තවමත් ආදරය කරන අතර “මනාලිය” හි ගැහැණිය කලකිරුණු දුක්විඳින බිරිඳකි. “ගිගුම් සර - සැර මැඩ,” “ප්‍රේමයේ ගන්ධබ්බ,” සහ “වදන් සහසකි” යනු කායික මෙන්ම චිත්තවේගීය ආදරය සඳහා ආශා කරන කාන්තාවන් ගැනය.
16 වන කවිය වන “අරුම” නිසැකවම පරාර්ථකාමී පරිත්‍යාගශීලි පුද්ගලයින උදෙසා ලියවුවකි. කවි දහයකට පසු අපට හමුවන්නේ “පෙරනිමිති”ද ලෝකය පරිත්‍යාගශීලී මිනිසුන් ලස්සන කරන ආකාරයටම අහස ලස්සන කරනා වලාකුලුවලට ලියවුවකි. මෙම සංග්‍රහයේ එන භාර්යාවන් සහ පෙම්වතුන් මෙන් බොහෝ වේදනාවන් බලාපොරොත්තු සුන්වීම් සහ අසාධාරණ ඉල්ලීම් වලින් පිඩාවට ලක්වන පරිත්‍යාගශීලී “තුංග කඳු” අවසානයේ වේදනාත්මක මතක කඳුළු වලට හරවයි. මෙම කාව්‍ය සංග්‍රහයේ ධනාත්මක ලක්ෂණයක් ලෙස මා දකින්නේ මෙහි එන චරිත තම දුක්බර මතක් සිහි කිරීමට මැළි නොවුනද, මඩටම කැමති සුකරයන්සේ ජිවිතයේ ඉතිරි කලද අසුන්දර මතක අතරම දියකර හරිනු වෙනුවට නව සුන්දර මතක අත්විඳිමට අකමැත්තක් නොමැති වීමයි. “ඇහිපියන් අවදිවිය” යනු අළුත් ආරම්භයක් වැළඳ ගැනීම සඳහා අතීතයට සමුදෙන කාව්‍යමය පෞරුෂයක් වටා ලියවුන කවියක් වන අතර කවියේ පළමු කොටසේ ඇය අඳුරු නිදන කාමරයේ ජනේලය විවර කර හිමිදිරි උදෑසන හිරු එළිය, නැවුම් වාතය, මල්වල සුවඳ හා කුරුළු ගීත අත්විඳියි. අවසානයේදී, ඇගේ වේදනාකාරී අත්දැකීම් හදවතේ වේදනාව සමනය කරන සුන්දරත්වයක් බවට පත් කිරීමට ඇය තීරණය කරයි:
කවියක උණුහුමකින්
නිවමි
කඳුළක රැඳුණ සීතල.
“අප හමුවියයුතු තැන්” හි කාව්‍යමය පෞරුෂය ඇගේ ආදරණීයයාට තම ගැටළුවට ප්‍රායෝගික විසඳුමක් මෙසේ යෝජනා කරයි:
නිතර නිතර නොවුණත්
හමුවිය හැක ඔබට මට
නාඳුනනා ලෙසින් ම
කිසිවෙකුටත් නොදැනෙන ලෙස
...
නොලියවුණ කවියක් නොවී
සරලව ලියන කෙටි කවියක් ව
47 වන කාව්‍යයේ කාව්‍යමය පෞර්ෂය පුරුෂ කටහඬකින් පාඨකයා ආමන්ත්‍රණය කර ආදරවන්තයන්ගේ දිනයේ ඇය බැලීමට ඒමට නොහැකි වීමට හේතු දක්වයි. ඔහුගේ නොපැමිණීමෙන් ඇයගේ සිතට ඇතිවන වේදනාව ගැන මනා වැටහීමක් ඇති පුරුෂයා අවසන් කවියේ ඇයගේ දුක තුනී වීමට පසුදිනක තෑගි මිලදීගෙන දීමට පොරොන්දු වෙයි:
ආදරය තව තවත් වැඩිපුර ම උපයමි
වැඩපොළේ අද ද අතිකාල කරනෙමි
දාදියෙන් ඝනකමැති රන්දමක් ගොතනෙමි
සියෝවැ නුදුරු දින එය රැගෙන එන්නෙමි
බලය, ධනය සහ දුගී බව
මෙම කාව්‍ය සංග්‍රහයේ එන කවිි කිහිපයක් බලය, ධනය සහ දිළිඳු බව තම ප්‍රධාන මාතෘකාව බවට පත්කරගෙන ඇත. 11 වන කව වන “අවුරුදු චක්‍රය” වැඩවසම් ස්වයංපෝෂිත කෘෂි ආර්ථික-සාමාජීය රටාවක් සඳහා සැකසුනු අවුරුදු චාරිත්‍ර එලෙසම පිළිපැදීමට මෙකල සමාජ-ආර්ථික ජීවීන්ට ඇති අපහසුතා පිලිබඳ විවරණයකි:
ගරුකර පැරණි සිරිතට
වැඩ ඇල්ලුවද නැවුම් නැකතට
දන්නවද සහසුද්දෙන් ම ඇත්තට
ගෙවා ණය වාරික දහයක්
ආයෙත් එනවලු අලුත් අවුරුද්දක්
මෙහි එන “චක්‍ර” යන යෙදුම නිදහස අහිමිවීම හඟවන පදයකි. තම තමා අයිති වන ජනවාර්ගික සහ ආගමික සම්ප්‍රධායන් සුරැකිය යුතුය. ඒවා මතු පරපුරටද අත්දැකීමට සැලසිය යුතුය. එබැවින් බොහෝ රජයේ සහ පෞද්ගලික අංශ වල සේවකයන් තම වැටුපට අමතරව උත්සව අත්තිකාරම් ගනිති. ඉන්පසු, ලැබූ නව වසරේ ඉතිරි මාස දහයක් පුරාවට කොටස් වශයෙන් එම ණය ගෙවති. ණය ගෙවා මසකින් නැවතත් ණය වෙති. මෙය චක්‍රයක් නොවන්නේද?
“රන් නොපැලඳි නමුත්,” මෙම කාව්‍ය සංග්‍රහයේ එන 24 වන කාව්‍ය, යම් පමණකට රොමන්තිකරණයට ලක්වූ වැඩකරන පන්තියේ ගැහැනියක් සම්බන්ධයෙන් ලියවුවකි. අන්අය වත්සුණු වලින් මුහුණේ ඇති ලප කැළලි වසන ලෙසට මෙම ගැහැණිය සිනහවකින් තම වේදනාව වසා ගනී. ඇය නිවසේ දහසකුත් වැඩ කිරීමෙන් අව පැහැව ඇති තම නිය පිරිසිදු කරගන්නේ දෙහි ලෙල්ලක් ඇතිල්ලීමෙනි. ඇයගේ ආභරණ වන්නේ දහදිය පබුළු, කරගැට සහ ඉමිටේෂන් කරාබු ජෝඩුවක්. එසේ තිබියදීත් ඇයගේ සිරුර වාණිජ කරණයට හා සුරාකෑමට විරුද්ධව ඇය විසින්ම ඉදිකරගත් පවුර විද ඇයගේ ඇතුළාන්තයට පිවිසීමට යනෙන මග අනග බැලුම් වලට ඇය ඉඩ නොදෙයි. එලෙසම “රණවරා මල් පුරා - පින් සුවඳ” හි කාව්‍යමය පෞර්ශයද තම ජිවිතයට අගයක් සොයයි. බුදු පුදට පසුව ඔහේ පරවයන මලක් වනු වෙනුවට, බුදු පුදට යනවුන්ගේ පිපාසය නිවන රණවරා මලක් වීම ඇයගේ පැතුමයි.
ගැටුම්
මිනිස් සන්තානයේ අභ්‍යන්තර සහ බාහිර ලෝකයේ එන ගැටුම් මෙම කාව්‍ය සංග්‍රහයේ නැවත නැවත භාවිත වන තවත් එක මාතෘකාවක්ය. “අසල්වැසි මිත්‍රය,” “මේඝය ඔබ කැමතිද ඇත්තටම?,” සහ “නිවීම” මේ අතරින් කැපීපෙනෙන ලෙස ගැටුම් පිලිබඳ අවධානය යොමු කරයි. 49වන කව වන “මේඝය ඔබ කැමතිද ඇත්තටම?,” “පායනා කාලේදී” නම් ඉසොෆියානු උපමා කතාවකින් උපන් ළමා කාව්‍යයෙන් අභාෂය ලද්දක් යයි මට සිතේ. මෙහි කාව්‍ය පෞර්ෂය තමාගේ දුගී භාවය පිලිබඳ තොරතුරු ස්වභාවධර්මයේ විවිධ පාර්ශවයන් සමග බෙදාගනියි. ඇයට අනුව ඇයගේ බැංකු ශේෂය යනු හුදු මායාවක්: එමනිසා එයට වැස්සෙන් හෝ අව්වෙන් වෙන බලපෑමක් නැත. අචේතනික මේඝය සචේතනික සේ සලකා, ඇය මේඝයෙන් විමසනවා එය මෙවැනි වාතාවරණයක් යටතේ වහල තෙමෙන්නට සැලැස්වීමෙන්, දරුවාගේ පපුවේ සෙම වැඩි කිරීමෙන්, දරුවාගේ පාසල් පොත් තෙමා අකුරු බොඳ කිරීම මගින් ඇයගේ පාසල් ගමන නැවැත්වීමෙන් සහ කාසියක් දෙකක් උපයාගැනීමට මවට ඇති මං ඇහිරීමෙන් ඇයගේ වත්මන් තත්වය තිබෙනවාටත් වඩා අයහපත් කිරීමට කටයුතු කරනවාදැයි කියා. නැවත නැවතත් කවියේ එන තුන්පෙලකින් සැදී ප්‍රශ්නය - ”මේඝට ඔබ කැමතිද/ අනෝරා වැස්සක් ව/ බිමට ඇද හැලෙන්නට ” - තමාගේ සහ තම කුඩා දියණියගේ ඉතාමත් මුලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සමාජයේ විවිධ පාර්ශව වලට අමතරව ස්වභාවධර්මයේ අති ප්‍රභල බලවේග සමග ද පොර බැදීමට සිදුව ඇති අතිශයෙන් සාමාන්‍ය ගැහැණියකගේ ජීවන අරගලය පිලිබඳ ගෙතුනකි. මෙම ගැහැණිය මේඝය ඇයගේ තත්වය ගැන වඩා සංවේදී වනු ඇතයි සිතයි. එම සිතුවිල්ල ඇය වැනි ගැහැනුන් හට මිනිස් සමාජයෙන් ලැබෙනා සැලකිල්ල ගැන ඉඟි කරයි. “නිවීම” කාව්‍යයේ එන රළු පරළු ගල්කුළු කිසිවෙකුට හානි කිරීමට යන සැඩ පහරේ වේගය අඩාල කරයි. ස්වභාවධර්මයේම බලවේග යුග්මයක් වන ගල්කුළු සහ සැඩ පහර අතර ගැටීම සුභවාදී ලෙස කෙලවර වේ. ගාන්දියානු අවිහිංසාවාද රීති යොදාගන්නා ගල්කුළු නිෂ්ක්‍රීය ප්‍රතිරෝධය භාවිතයෙන් පහලට ගලා බසිනා සැඩ ජල පහරේ වේගය අඩාල කරදමයි. මෙහිදී, කිවිඳිය මෙම උපමා උපමේය භාවිතයෙන් තමාට ආසන්න ගැටුමක් පිලිබඳ විවරණයක යෙදෙන්නේදැයි නොසිතුනාම නොවේ.
නැතිවීම සහ වෙන්වීම
මෙහිදී කාව්‍ය සංග්‍රහයේ පළමු කව වන “තෙත බරිත රාත්‍රිය” ස්වභාවික විපත් මගින් සිදුවන විශාල හානි පිලිබඳ සිත් සසල කරවන චිත්‍රයක් මවයි. කිවිඳිය ප්‍රභල ශබ්ධ සහ දෘශ්‍ය උපමා රූපක භාවිතය තුලින් කාව්‍ය පෞර්ෂය මැදියම් රැයේ නොවැලක්විය හැකි ව්‍යසනයක් බලාපොරොත්තුවෙන් නිදිවරා සිටිනා අයුරු දැක්වෙන ත්‍රිමාන රූපයක් පාඨකයාගේ සිතේ මවයි. වඩාත් පුදුම සහගත වන්නේ ස්වභාවධර්මයේ එක බලවේගයක් මානව වර්ගයා හට මරණය සහ දේපල හානිය අත්කර දීමට කැසකවද්දී තවත් බලවේගයන් - රැහැයියන්, පොලොව, වැහි ලිහිණියන්, සඳ, තරු සහ බල්ලන් - සිදුවීමට යන ව්‍යසනයෙන් පිඩා විඳිනට යනවුන් ගැන සංවේදී වෙති, තැවෙති. තේමාවේ කම්පනකාරි බව හේතුවෙන්ම කාව්‍යයේ එළිවැටක් හෝ අභ්‍යන්තර රිද්මයක් පවත්වා නොගැනීමෙන් අතිශයෙන් කලබල සහගත ශබ්ධ රසයක් මතු කිරීම මගින් සන්ධ්‍යා ලියනගේ එම මොහොතේ සහ පසුව ඇතිවන්නට යෙදෙන විනාශය තුල පාඨකයාගේ දෙසවන් ගිල්වයි. “රත්තරන් වටින්නෑ ඒ ලියුම” ද දිළිඳු බව හේතුවෙන් ඇතිවන පාඩු පිලිබඳ ලියවුනු කවි පංතියකි. කවියේ එන ගැහැණියගේ රන් අභරණ දින තිහකින් සින්න වීමට නියමිතය. මැද සහ වැඩකරන පංතියේ මිනිසුන් හට ජිවත් වීමේ අරගලයේදී ඇතිකරගන්නට සිදුවන සම්මුතීන් පිලිබඳ ලියවුණකි මෙම කව. නිවසක හිමිකරුවන් බොහෝ විට ණය කරුවන්ය. ණය වාරික ඔවුන්ගේ දැනටමත් කුඩා පඩි පතෙන් විශාල කොටසක් ගිල දමයි. අවසන යම් මුදල් අවශ්‍යතාවකදී ඔවුන්ට අයත් එකම නිශ්චල දේපල වියහැකි අරුංගල් ජෝඩුවක්, මගුල් මුද්දක් හෝ රන් දම්වැලක් උගස් කරනු හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. ඒවා නැවත බේරා ගැනීමට ඔවුන් ළග ඇති වෙනත් වත් කමක් නැත. එහෙයින් ඒවා “සින්න කරගෙන කවුරු හෝ මතු හද බලනු ඇත තුටු සිතින්” සිතා සිතින් අතහැර දමනු මිස ඇයට වෙන විසඳුමක් නැත.
රැකියාව සඳහා නිවසින් පිටව ඉන්නාවුන්හට නිවාඩුව තම ආදරනියන්ගේ ප්‍රිය ඇසුරේ සතුටින් ගෙවෙන කාලයකි. එහෙත් “පාළු නිවාඩුව” නිවාඩුව හේතුවෙන් තම ආදරණීයයාගෙන් ශාරීරිකව වෙන්වයාමට වීමේ ශෝකය ප්‍රකාශ කිරීමට ගැලපු කවකි. “පාඩුවේ ඉන්නට නොදේවි ද සති අන්තයේ එළැඹි නිවාඩුව” යැයි කාව්‍ය පෞර්ෂය අසයි. “සන්තෝෂ දවසක්” හි එක්තරා මැදිවියේ කාන්තාවකගේ සිතේ යම්කිසි රෝගයකට ප්‍රතිකාර ගැනීමට සායනයකට ගිය දිනක තම පැරණි ආදරවන්තයා හමුවීමෙන් ඇතිවන සිතුවිලි නිරුපනය කරයි. ඔහු වැන්දඹුය. ඔවුන්ගේ සම්භන්දය නිමවූ පසු අවිවාහකව දිවි ගෙවූ කාන්තාව තම පැරණි පෙම්වතා ඔහුගේ මියගිය බිරිඳ සමග මතු ආත්ම වලදීද එක්වන්නට ප්‍රාර්ථනා කරනු ඇත්දැයි තම සිතෙන්ම විමසයි. එම සිතිවිල්ල හේතුවෙන් ඔහුගේ ඇසුර ලැබීමට ඇයට “ශේෂ වුණ මේ කෙටි සමයට දෝෂ කුමකට අතීතයේ වුණ” කියා තීරණයකට එළඹීමට ගැහැණිය පෙළඹෙයි. “ප්‍රේමයේ ගණනය”හි එන ගැහැණිය තම පෙම්වතාගෙන් වෙන්ව ගතකල වසර ගණන ගණනය කරයි. 17 වසරක් ගෙවී ගියද ඒ පිරිමියා කෙරෙහි ඇයගේ සිතේ ඇති ආදරය අඩු වී නැති බවත් මිය යන තුරුම ඔහුට ආදරය කිරීමට බොහෝ ඉඩ ඇති බවත් යන ශෝකය දනවන අවබෝධයට කවියේ අවසන ඇය පැමිණේ.
“කොස්ගහ යට පශ්චාත් පරික්ෂණය” මෙම කෘතියේ එන 8 වන කවි පංතියයි. එය තම හාමත් දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කොස් හොරකමේ ගොස් ගසින් පහලට ඇදවැටුණු පියෙකු ඇස ගැටෙන කාව්‍ය පෞර්ෂයේ ඇසින් ගිලිහෙන කඳුළු පනා මලක පතිත වෙයි. කවියේ පළමු පද පේලි දෙක වූ “බුම්මගෙන අත්තක් උඩින් හිඳ/ පොරවගෙන කටු රෙදි මනා” ප්‍රසිද්ධ තෙරවිල්ලි කවියක් සිහියට නංවයි. එමගින් ගමේ ගොඩේ ඉතා විශාල ප්‍රමාණයෙන් ඇති කොස් ගෙඩියක් වැනි දෙයක් තම දරුවන්ගේ කුසගිනි නිවීමට සොරකම් කල පියෙකුට වූ හදිය ඔහු කල සොරකමට” ලැබුණු දඬුවමක් දැයි යන පැණය පාඨකයා තුල නගයි. පියාගේ රැකවරණයද අහිමිව තනිවන දරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන සාමජිය මෙන්ම මානසික ගැටළු ගැන ඉඟියක් කාව්‍ය තම පාඨකයාට ලබාදෙයි. “සත් පත්තිනි” තුලින් කිවිඳිය අප සමාජයේ බොහෝ වැන්දඹු කාන්තාවන්ගේ ඉරණම ගැන විවරණය කරයි. ඔවුන් මිනිසුන්ගේ ලෙහෙසි ගොදුරු වන අතර සස්වාමික ගැහැණුන්ගේ ඔපාදුපවලට මාතෘකා වෙයි. මෙම කවියේ කාව්‍ය පෞර්ෂය තුල සිය මියගිය සැමියා කෙරෙහි වූ ප්‍රේමය ඇයගේ පතිවතට ඇතිවන තර්ජන වලින් ඇය ආරක්ෂා කරන පවුරක් මෙන් ක්‍රියා කරයි. කිවිඳිය සමාජයේ පත්තිනි දේවිය සම්භන්දයෙන් ඇති විශ්වාස තම කවියේ කාව්‍ය පෞර්ෂය නිරුපනය සඳහා යොදාගෙන ඇතිබව පෙනේ. ඇය වැනි ගැහැනියකට “කටු පඳුරු දුක් ගැහැට රැඳී මඟ ගෙවන්නේ ද පා පැකිලෙමින” යන්න නිරන්තරයෙන් නැගෙන පැණයකි. අයුතු යෝජනා සහ කටකතා පිලිබඳ බිය ඇයගේ සිත පුරවන අතරම එම යෝජනා වලට එකඟ නොවීමට ඇය තුල වූ නොසැලෙන අදිටන ඇයගේ සැමියාගේ වියෝවෙන් පසු ඇයට අත්විඳීමට අත්වූ විවිධ අඩුපාඩු තුලින් ඇතිවන සිත් තැවුල් ද අභිමවා එක්තරා අභිමානයකින් ඇයගේ සිත ආරෝපණය කරයි. “සඳට නැත හිනැහෙන වරම්” කවිය දෙවැනි වරටත් නායේ යාමකින් සිදුවූ ජීවිත හා දේපල හානි පිලිබඳ කතා කරයි. පෙර කවියේදී මෙන්ම ස්වභාවධර්මයා සඳ, කඳු පංති, වනාන්තර, බල්ලන්, කුරුල්ලන් සහ ගස් සචේතනික ලෙස විපතට පත්වූවන් ගැන ශෝක වෙයි. ”ප්‍රේමයකි ගන්ධබ්බ” බිඳුණු හදක් ඇති ගැහැනියක තුල වුවද ආදරය සහ විවාහය පිලිබඳ ආශාව පිලිබඳ ලියවූ කවියකි:
රිදුම් දෙන හිත සෙමෙන් පිරිමැද
පිරු හදවතක කෙලවර
වේදැඟිල්ලකට දීමට රන් බර
බැලුම් බලනෙමි විටින්
“හිමි අහිමි” හි මාතෘකාවේ වචන භාවිතයේදී කිවිඳිය වචන කෙළියක (pun on word) යෙදේ. හිමි යන පදයට හිමිකරු, සැමියා සහ අයිතිය යන තේරුම් ඇති අතර කිවිඳිය එම තේරුම් සියල්ල අඩු වැඩි වශයෙන් භාවිතා කරයි. කාව්‍ය පෞර්ෂය ඇයට යාබද අසුන අතහැර ගොස් සිටින තම හිමිට සිහි කැඳවනවා එම අසුන පිළිගෙන ඇයගේ ශාරීරික සහ මානසික අවශ්‍යතා සපුරා ආදරයේ උණුසුම ඇයට නැවතත් දිය හැකි කෙනෙක් ඇය අසලම ඉන්නා බව.
කවියේ අවසන් පේලි දෙකෙහි ඇය තමාගෙන්ම විමසනවා තමාට වූ අහිමිවීම වඩාත් හොඳ යමක් තමාට තිලිණ කරන්නට දෛවයේ අදිසි හස්තයෙන් කල මෙහෙයුමකද කියා. “හිස්” යන පදය නැවත නැවතත් යෙදීමෙන් සහ “ඔබ නොදන්නවා” යනුවෙන් ආරම්භ වන පළවැනි පේලියේ සහ අවසන් පේලියට පෙර පේලියේ ඇනෆෝරා යන ශිල්ප ක්‍රමය දීමෙන් කිවිඳිය මෙම කවට චෝදනාත්මක ස්වරයක් එක කරයි.
මෙතෙක් සාකච්ඡාවට බඳුන් වූ සියලු කවි රචනාව ඇත්තේ වැඩිහිටියෙකුගේ කෝණයෙනි. එහෙත් “අහෝ ...ඵල ඇති රුක” සංවර්ධනයට බිලිවන අඹ ගසක් අහිමි වීමෙන් දරුවෙක් තුල ඇතිවන හැඟීම් හා බැඳේ. “පෙබරවාරිය” කවියේ කාව්‍ය පෞර්ෂයද ගස් වැල් වලට සංවේදී මනුෂ්‍යයෙකි. කොළ හැලුණු රබර් ගස්වලට සිතල දරාගත් හැකිදැයි ඔහුගේ සිත තැවේ. රබර් කිරි කපන සින්නම්මාට රබර් ගස් වල කොළ හැලෙන කාලයට දින විස්සක නිවාඩුවක් ලැබේ. එයින් ඇයට අත්වන ආර්ථික දුර්විපාක පිලිබඳ දැනුම පාඨකයාගේ අවබෝධය මත තීරණය වන්නට කිවිඳිය ඉඩහරී.
“ප්‍රේමය” සහ “වදන් සහසකි” යන කවි දෙකම මාර්ගයක් ඒවායේ ප්‍රධාන රූපකය ලෙස භාවිතා කරයි. එමගින් කවි යුගලයේම තම ප්‍රේමවන්තයා අහිමි වීමෙන් කාව්‍ය පෞර්ෂය තුල ඇතිවන කම්පනය නිරුපණය කිරීමට කිවිඳිය උත්සහ කරයි. “ප්‍රේමයකි ඒ අරුමැති” කවියේ එන ගැහැණිය ඇයට අහිමි වූ ප්‍රේමයට හිතේශීය. ඊට අමතරව දෙදෙනාගේ නොගැලපීම් හේතුවෙන් ඔවුන්ගේ වෙන්වීමේ වේදනාව නොවැලක්විය හැක්කක් සේ දෙදෙනාම සැලකිය යුතුයැයි හැරගිය පෙම්වතාට ඇය යෝජනා කරයි. ඇයට අනුව ඔවුන්ගේ නොගැලපීම නොගැලපෙන ස්වර සහිත අමිහිරි ඝෝෂාකාරී ගීතයක් වැනිය: ගීතයකට පද නොගැළපී/ මිහිරි තනු හිමිවනු නැති. එහෙත් ඔවුන් දෙදෙනා ගොඩනැගූ මතකවල ප්‍රභල බව හා මිහිරි බව හේතුවෙන් ඔවුන්ගේ සබඳතාව සදාකල් වනු ඇතයි ඇය සිතයි. මෙම කාව්‍යය සංග්‍රහයට නම්දෙන 23 වන කවිය වන “මතක මඟ මගහැර” මේ වේදනාත්මක මනෝභාවයට පිළිතුරක් සපයයි. එහි කාව්‍ය පෞර්ෂයට අනුව මල් ඉහිරුන මාවත මගින් නිරුපණය වන අතීතයේ වේදනාත්මක මතක සිතට වේදනා දීම වැලැක්වීම සඳහා මතක අතර පා-ඇඟිලි තුඩු වලින් ඇවිදිනු වෙනුවට අහිමි වීම් පිලිබඳ වේදනාකාරී මතක වලට සමු දීමට කාලය පැමිණ ඇත. ඇයගේ දිවියේ හැරවුමක ප්‍රථම පියවර ලෙස මල් මාවත මගහැර ඒ අසල හරස් මගක් භාවිතා කිරීමට ගැහැණිය සැරසේ. “ඇහිපියන් අවදි විය” හි ප්‍රේමය අහිමි වූ කත තම හරස් මග ලෙස කවිය තෝරාගත් වගක් පෙනේ. එමගින් එම ගැහැනියගේ චිත්ත සන්තානයේ ඇතිවන වෙනස සන්ධ්‍යා ලියනගේ කිවිඳිය හිරු එලිය, මල් සුවඳට සහ කළුවර කාමරයකට හිමිදිරි උදෑසන ගලා එන කුරුළු ගීත වලට සංසන්දනය කරයි. එහෙත්, 29 වන කව වන “මෙතැන් සිට” හි තම අහිමි පෙම්වතාගේ මරණය පිලිබඳ ආරංචිය කන වැකුණු සැනින් තමා ඔහුව අමතක කිරීමට ගත සියලු වෑයම් නිෂ්පල ව්‍යායාම් බව ගැහැණිය පසක් කරගනී. එහෙත් ඇය:
නොපැමිණෙමි,
ඔබේ ආදාහනයට
අවසනට දැක පැන් වැඩුමට
මා දිවි ඇති තෙක්
නොමියන ඒ සෙනෙහස රැගෙන
ඒ වෙනුවට ඇයගේ දිවියම මතක වෙනුවෙන් කැප කිරීමට අදිටන් කරගනී: මතකයේ තුටු කඳුළු විඳ විඳ රෑ ජිවත් වෙමි අද පටන් මම. “රන්වනින් දළු ලෑව බෝධිය” හි එන ගැහැණිය අමිහිරි මතක වලින් පීඩා විඳිනා බොහෝ මිනිසුන් මෙන් සසර ගමනින් එතෙර වීමේ මග තෝරා ගනියි:
නිහඬතාවය රැඳුන අඳුරක
සසර මංපෙත ඉමක් නොදැනෙන
අනියත වූ නියත දහමකි
සුබෝධි මුල බවුන් වඩවන
එහෙත් වැඩිකල් නොයා නැවතත් ඇගේ සිත තම අහිමි ආදරය සොයා යයි. “එහෙත් නොදැනුණි නුඹට” කාව්‍යය (39 වන කවිය) ආදරය ප්‍රකාශ කිරීමේ ඇති අපහසුව සහ එයින් වන බලපෑම පිලිබඳ ලියවුණකි:
රිදුම් දෙන හදවතින් පබැඳුණු
නුඹේ නමින් පියු කවි නොකියූ කල
මහමෙරක් වන පෙමක් සෙලවිණ
“මායාව” කවියේ එන ගැහැණිය ඇයට සහ ඇයගේ අහිමි වූ පෙම්වතාට මුණගැසීමට ඇති එකම ස්ථානය ලෙස දකින්නේ ක්ෂිතිජයයි. එහෙත් ඔවුන්ගේ හමුවීම් දිවා කලට පමණක් සිමා වෙයි. සියලු මනුෂ්‍ය සබඳතාවන්හි අනිත්‍ය කෙටිකාලින ස්වභාවයට ඉඩදී සැන්දෑ කල පැමිණි විට ඔවුන් සමු ගත යුතුය. “රළ රැල”හි කුණාටු රළ “නිවීම” කවියේ ගංවතුර මෙන් වෙරල දෙසට වේගයෙන් පැමිණ එහි හැපී සන්සුන්ව නැවත මුහුද කරා ඇදෙයි. කවිය නගන පැණය වන්නේ එම රළ මුහුද කරා ඇදෙන්නේ නැවතත් කුණාටු රළ ලෙස වෙරළ කරා එන අදහසින්ද යන්නයි. කිවිඳිය මුහුද, රළ සහ වෙරළ යන රූපක වලින් ඒවායේ මතුපිට කතාවට එපිටින් ගිය කතාවක් ඉඟි කරන බව මාගේ වැටහීමයි.
“බොන්සායි” (41 වන කව) කාව්‍ය පෞර්ෂය නීති රීති වලින් පුද්ගල වර්ධනයට වන හානිය පිලිබඳ ලියවුණකි. 42 වන කවිය වන “ඉර එනවනම් කඩිනමට” සන්තුෂ්ටිමත්බව, ජීවයෙන් පිරුණු බව සහ නිර්මාණශීලිබව යටපත් කරනා සිසිර ඍතුවේ නිමාව යැදීමකි. එහි එන කිවිඳිය සිසිරයේ කිරිටය බිම හෙලිමට හැකි එකම බලය වන ජීවගුණයෙන් පිරි හිරුට තම සිසිර නිද්‍රාවෙන් පිබිදී ඇය උණුසුම් කවි වලින් පුරවන ලෙස ආයාචනා කරයි.
තවත් කවි තුනකට පසුව එන “ගෙවෙ හෝරා කඩිනමින්” හි කිවිඳිය කාලය යන තේමාවට නැවතත් ගමන් කරයි. රෝහලක ලෙඩ ඇඳක සිරවී සිටි කෙනෙකුටම පමණක් සම්පුර්ණයෙන් තේරුම් ගත හැකි තනිකම ආදී හැඟීම් වලින් පීඩා විඳිනා මෙහි එන ගැහැණිය එයින් අස්වැසීමට (සිසිරය නිමා කිරීමට හිරු එතැයි බලා සිටිනා ගැහැණිය මෙන්ම) තම සමීපතමයා එතැයි පෙරමග බලල සිටියි. රෝහල් ආරක්ෂක භටයන් රෝගීන් බලන වෙලාවේ නිමාව සනිටුහන් කිරීමත් සමගම ඇයගේ බලාපොරොත්තු කඩවේ. එහෙත් ඈ බැලීමට නොආ සමිපතමයාට දොස් නගනු වෙනුවට ගැහැණිය ලෙඩුන් බලන වේලාවෙන් පසුව වැසෙන රෝහලේ ප්‍රධාන ගේට්ටුවට වරද පටවා සිත මදකට රවටා ගනියි.
“පැහැදිලි කරගනු අටියෙනි” කවෙහි එන කාව්‍ය පෞර්ෂය මෙතෙක් ජීවිතය වෙන්නට ඉඩහළ පිළිවෙතින් බැහැරව තමා ප්‍රේම කරන පුරුෂයාට තම සෙනෙහස සහ එනිසා විඳිනා සිත් වේදනාව ලිපියකින් දන්වන්නට තීරණය කරයි. ඇය ඔහු තවදුරටත් එම ලිපිනයේ නැතිනම් ඒ බව දැන ගැනීම සඳහා ලියුම් කවරයේ ඇයගේ ලිපිනයද සඳහන් කරයි. මෙමගින් මෙතෙක් ඇයගේ ජීවිතය අකර්මන්‍යව එක තැන පල්වෙමින් සිටි තැනින් මුදවා අනාගතයක් වෙත ගෙනයාමට අදහස් කරනවා වියයුතුය.
අවසන් වශයෙන් සන්ධ්‍යා ලියනගේ කිවිඳිය නැතිවීම සහ වෙන්වීම යන තේමා සමග කරන ගණුදෙනුවේදී නැතිවීමෙන් සහ වෙන්වීමෙන් ඇතිවන ශෝකය, එම තත්වය භාර ගැනීමට අප සිත් තුල ඇති දැඩි නොකැමැත්ත සහ එතැන් සිට ඉදිරියට යාම වැනි පැතිකඩවල් කෙරෙහි පාඨක අවධානය යොමුකිරීමට තම පෑන් තුඩ උපයෝගී කරගනියි.
මතක
මතක මග මගහැර යැයි නම් තබා ඇති මෙම කෘතියේ ඇති සියලුම කාව්‍යවල ප්‍රධාන තේමාව මතකය වන්නේය. ස්මරණය කිරීම සහ අමතක කිරීම වැනි මතකයේ විවිද පැතිකඩ වස්තුබීජ සහ තේමාව ලෙස ගත් කවි අතර “පාළු නිවාඩුව” නම් කවියෙහි එන ගැහැණිය සති අන්තයේ නිවාඩුවට තම පෙම්වතාගෙන් වෙන්වීමෙන් ඇතිවන ශෝකය තම පවුලේ ඇය සමග සතුටින් සතිඅන්තය ගතකිරීමට බාධා කරයිදෝයි සිත් තැවුලෙන් පසුවෙයි. “ප්‍රේමයේ ගණනය” තුල වසර සතකට පෙර වෙනත් ගැහැනියක් වෙනුවෙන් ඇය හැරගිය පුරුෂයෙකු හා බැඳුනු මතකාවර්ජනයකි. “සන්තෝෂ දවසක්” හි එන රෝගී ගැහැණිය පැරණි සිත් තැවුල් අමතක කොට අහඹු හමුවීමේ සන්තෝෂය විඳීමට ඇයගේ පැරණි පෙම්වතාට ආරාධනා කරයි. එහෙත් “සත් පත්තිනි” හි එන වැන්දඹු ගැහැණිය තම මියගිය සැමියා සම්බන්ධ ආදරණීය මතක තමාට රැකවරණය සලසන ආරක්හක පවුරක් බවට හරවාගනී. එයට හාත්පසින් වෙනස් අත්දැකීම් ඇති “මනා ලිය” කවියේ එන කාන්තාව තම සැමියාගෙන් ලද ශාරීරික මානසික පීඩා මෙසේ විස්තර කරයි:
නෙතින් නෙත කතා කළ
වදන් වැල් ගොළු වී
හිතින් හිත ලං කළ
ආදරේ වියැකී
මුදු වදන් රළු වී
නෙත් කැලුම් බොඳ වී
කුල ගෙයක තැවුල් මද
කඳුළෙන් ය; මනමාලි
ගෘහස්ත හිංසනයට මුහුණ දෙන බොහෝ ගැහැණුන් (මිනිසුන්ද සිටිය හැක) මෙන් “ආයතන ප්‍රධානියෙකුගේ මුදු සටහනක්” හි එන ගැහැණියද තම සහකරු සහ තමා අතර ඇති ගැටළු තවත් කෙනෙකුගේ සවනට, ඇසට යාම වලක්වයි. එහෙත් ගැහැණුන්ගේ (මිනිසුන්ගේද මෙසේ විය හැක) සිත් තුල ඇති එවන් තෙරක් නොදුටු සිදුවීම් පිලිබඳ මතක සිමෙන්ති දැමු බිමක ඉරිතැලීම් තුලින් පැනනගින වල්පැල මෙන් මතුවීම “මතුවීම” තුලින් සිතුවම්වේ.
ප්‍රවීන කිවි සන්ධ්‍යා ලියනගේ මතක මග මගහැර මතකය තුල බලාපොරොත්තුව, ගැටීම, ප්‍රේමය, කැපකිරීම සහ අත්හැරීම වැනි දහසකුත් මිනිස් අත්දැකීම් පෙළගැසෙන අයුරු දක්වන කෙටි කාව්‍යමය භාවනා එකතුවකි. මෙම තේමා සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය හැඟවීමට කැපී පෙනෙන ඉඩක් කිවිඳිය මෙම කාව්‍ය සංග්‍රහය තුල වෙන්කර ඇත. වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ සමාජ ආර්ථික මට්ටම කුමක් වුවත් මතක අප සියලු දෙනාගේම ජිවිතයේ සියලු පැතිකඩ වලට මද්‍යලක්ෂය වන බව මෙම කාව්‍ය සංග්‍රහය තුල ලියනගේ කිවිඳිය යෝජනා කරයි. ඇයට අනුව අප ලොව දකින්නේ අපගේ මතක තුලින් වන අතර බොහෝ විට මතක මග මගහැර යාමට අප කරනා වෑයම් කාලයාගේ ඇවෑමෙන් නිරර්ථ ව්‍යායාම බවට පත්වේ. මෙහි එන බොහෝ කාව්‍ය මතකයේ හුස්ම හිර කරවන ග්‍රහණයෙන් මිදී අනාගතයක් ගැන සිතීමට බොහෝ ගැහැණුන් ගෙනයන නොනවතින අරගලයට උදාහරණ සපයයි. එම ගමනේදී සන්ධ්‍යා ලියනගේ කිවිඳියගේ උපමා උපමේය සහ කාව්‍යාලංකාරයෙන් අනුන බස ඇයගේ කෘතියට සිනමාරූපී බවක් ගෙනදෙයි.
- අනුපමා ගොඩකන්ද
බෙහෙවින්ම ස්තුතීයි මේ අනගි විග්‍රහයට
ReplyDelete